Grade 9 ශ්‍රේණිය - පාඩම 1

තෙරුවන් හැඳින ගනිමු

     බුද්ධ, ධම්ම, සංඝ යන රත්න තුන තෙරුවන් ය. ඒ තුන රුවන් යනුවෙන් හැඳින්වෙන්නේ ඇයි? අප රත්න ලෙස හඳුන්වන්නේ දුර්ලභ වූ වටිනා සම්පත්ය. රන්, රිදී, මුතු, මැණික් ආදිය දුර්ලභ නිසා වටිනා සම්පත් ලෙස පිළිගෙන ඇත. බුද්ධ, ධම්ම, සංඝ රත්න තුන ලෝකයේ අතිශය දුර්ලභය. හැම කාලයකම බුදුරජාණන් වහන්සේලා පහළ නොවෙති.

     "කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ" යනුවෙන් සඳහන් කොට ඇත්තේ එබැවිනි. ලෝකයේ දාර්ශනිකයන්, ලේඛකයන් ආදී විවිධ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ පහළ වෙති. එහෙත් බුදුරජාණන් වහන්සේට සමාන වූවෙකු හෝ උසස් වූවෙකු පහළ වී නැත.පහළ වන්නේද නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදිම මෙලොව හෝ දෙව්ලොව හෝ බුදුරජාණන් වහන්සේට සමාන උතුමෙකු නැත. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ උතුම් රත්නයකි.

     ධර්මය රත්නයක් ලෙස හඳුන්වනු ලබන්නේ ඇයි? ලෝකයේ විවිධ පුද්ගලයන් පළකළ අදහස් ඇත. ජීවිතය සහ ලෝකය ගැන විවිධ දාර්ශනික අදහස් පළ වී තිබේ. එහෙත් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඉක්මවා යන දහමක් වෙනත් පුද්ගයෙකුගෙන් ඉදරිපත් වී නොමැත. බුද්ධ වචනයට අනුවම ශාක්‍ය මුනීන්ද්‍රයන් විසින් දේශනා කරන ලද ධර්මයට සමාන දහමක් නැත. එහි මුල-මැද-අග යහපත් ය. එය කවර පුද්ගලයෙකුට වුව ද විමසා බලා ඇත දැකිය හැකි දහමකි. ඒ දහම දේව භාෂිතයක් නොවේ.ආර්ය පර්යේෂණයෙන්ම අනාවරණය කර ගනු ලැබුවකි. ලෝකයේ වෙනත් කිසිදු දහමකට දෙවෙනි නොවෙන, එමෙන්ම සමාන නොවෙන ශ්‍රේෂ්ඨ දුර්ලභ වටිනා උතුම් දහමක් බැවින් ධර්මය රත්නයක් ලෙස හැඳින්වෙයි.

     බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම රත්නය අනුගමනය කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් පිරිස සංඝ රත්නයයි. එනම් සෝවාන්, සකදාගාමී, අනාගාමී,අර්හත් යන මාර්ග ඵලයන්ට පත් උතුමන්ය. වෙන කිසිදු ශාසනයක මෙම මාර්ග ඵලවලට පත් පුද්ගලයන් නොමැති බව බුදුරජාණන් වහන්සේම දේශනා කොට ඇත. ආර්ය සංඝයා රත්න නාමයෙන් හැඳින්වෙන්නේ එබැවිනි.

     මෙම ශාසනික රත්න තුන තවදුරටත් විස්තරාත්මකව හඳුනා ගනිමු.

     බුදුරජාණන් වහන්සේගේ චරිතය මෙන්ම උතුම් ගුණ සමුදාය ද මෙහි දී හඳුනා ගැනීම අතිශයින්ම වැදගත් වේ. ඉතිපිසෝ... පාඨයෙහි බුදුගුණ නවයක් සඳහන් වෙයි. බෝසත් උපතේ පටන් සම්බුද්ධ පරිනිර්වාණය තෙක් වූ බුදු සිරිත විමසා බලන විට බිද්ධ චරිතයේ ශ්‍රේෂ්ඨත්වය මැනවින් අවබෝධ කර ගත හැකිය. බුදු වී පන්සාලිස් වසක් ලෝකවාසීන් කෙරෙහි අපරමිත කරුණාවෙන් දිවා රැ නොතකා දහම් දෙසමින් හා ඔවුන්ට පිහිට වෙමින් අති උදාර වූ මෙහෙයක් බුදුරජාණන් වහන්සේ ඉටු කළ සේක. දෙව් මිනිසුන් ඇතුළු ලෝකවාසීහු බුදු සිරිත ආදර්ශයට ගැනීමත්, ධර්මය අසා ජීවිතය හැඩගස්වා ගැනීමත් නිසා නිවනින් සැනසීමේ මග හෙළිකර ගත්හ.

     බුදු උපත ඇති කාලයක වුවත් නැති කාලයක වුවත් ධර්මය පවතී. බුදුරජාණන් වහන්සේ විසින් කරනු ලබන්නේ එම ධර්මය සොයාගෙන, අවබෝධ කරගෙන, දේශනා කිරීමයි. උන්වහන්සේ  පිරිනිවන් පෑ කල සිය ශාස්තෘවරයා ලෙස සැලකිය යුත්තේ ධර්ම විනය දෙක බව දේශනා කොට ඇත. බුදුරජාණන් වහන්සේගේ ගුරු තනතුරට උන්වහන්සේ විසින් පත් කරගනු ලැබුවේ ධර්මයම ය. ධර්මය දකින්නා බුදුරජාණන් වහන්සේ දකින බව ද දේශනාවේ සඳහන්වේ. එය රෝගියෙකුට බෙහෙතක් හා සමනය.

          "ධම්මේ භවේ රක්ඛති ධම්මචාරිං "

යන ගාථා පාඨයට අනුව ධර්මයට අනුව ජිවත් වෙන්නාට ධර්මයෙන්ම ආරක්ෂාව සැලසෙන බව සඳහන්වේ. සම්බුද්ධ ධර්මය තරම් උතුම් දහමක් ලොව නොමැත. ධර්ම දානය සියළු දානයන් ජයග්‍රහණය කරන බව සඳහන් "සබ්බ දානං ධම්ම දානං ජිනාති" යන ගාථා පාඨයෙන් පැහැදිලි වෙයි. ධර්මයේ ගුණ හයක් පිළිබඳව "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යනාදී පාඨයෙහි දැක්වේ. ධර්මය පිළිබඳ අවබෝධය ලබා දෙලොව දියුණුව සලසාගෙන නිවනින් සැනසීමට අපි ක්‍රියා කරමු.

     බෞද්ධයින් සරණ යන තෙවන රත්නය සංඝ රත්නයයි. සංඝ යන වචනයේ තේරුම සමූහය යි. මෙහිදී මාර්ග ඵල ලාභී ස්නාඝ සමූහයා අදහස් වෙයි. ගිහි ගෙයින් නික්මී පැවදිව තම විමුක්තිය සහ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් උන්වහන්සේලා ක්‍රියා කරති. මහා සංඝ රත්නය බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගෙන ආදර්ශවත් චරිතයකින් යුතුව ලෝක සත්වයා සුමගට ද යොමු කරවති. දෙලොව යහපත සඳහා මග කියා දෙන මහා සංඝ රත්නය සතු වූ සුවිශේෂී ගුණ නවයක් "සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ " යනාදී පාඨයෙන් කියවෙයි. උන්වහන්සේලාගේ චරිත මෙන්ම ගුණධර්මයන් ද ආදර්ශයට ගෙන දිවි මග සාර්ථක කර ගනිමු.

     තෙරුවන් සහ තෙරුවන්ගේ ගුණ හැඳින එම ගුඅන ආදර්ශයට ගෙන ක්‍රියා කොට උතුම් ඵල නෙළා ගැනීමට උත්සහ ගනිමු.

ක්‍රියාකාරකම්


1. තෙරුවන් උතුම් රත්න ලෙස හැදින්වෙන්නේ ඇයි?
2. බුද්ධ ධම්ම සංඝ රත්න තුනෙහි ගුණ නම් කර දක්වන්න.
3. තෙරුවන් හඳුනාගෙන ක්‍රියා කිරීමෙන් ලැබිය හැකි ප්‍රතිඵල කවරේදැයි ලිය දක්වන්න.
4. තෙරුවන් විෂයෙහි ඔබ කරන බුහුමන් මොනවද?

පුහුණුවට


සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන් ඉපදීම සැපතකි
සද්ධර්ම දේශනාව සැපතකි
සංඝයාගේ සමගිය සැපතකි
සමගි වූවන්ගේ සීලය සැපතකි

බුදුවරු පහල වීම අ මේ ලොව         සැපය
සදහම් දෙසීම ද ඒ තරමට               සැපය
මහ සඟ රුවන තුල ඇති සමගිය     සැපය
සමගිය තුළින් ඇතිවන තපස ද       සැපය